පුවත් හා විශේෂ අවස්ථා
අනාගත ලොව ජයගන්නා නායකත්වයේ අත්පොත් තබන, විනයෙන් හා ගුණයෙන් සපිරි තාරුණ්‍යයේ අභිමන් උදාව සනිටුහන් කරමින් 2026 වාර්ෂික ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ මහා මංගල්‍යය පසුගියදා පාසල් ප්දීරධාන ශාලාවේදී ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.වී.එස්.කේ. අජිත් පොන්නෑවිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. වගකීමේ නිල ලාංඡනය හදවතට සමීප කරගනිමින් පාසල් මාතාවගේ කීර්ති නාමය සුරැකීමට සැදී පැහැදී සිටින දිරිය දූ දරුවන් පිරිසක් එදින නායකත්වයේ අභිෂේකයෙන් පිදුම් ලැබූහ. දැනුමෙන් සන්නද්ධ වූත්, නායකත්වයේ උදාර ගුණාංගවලින් ඔපමට්ටම් වූත් මෙම නව ශිෂ්‍ය නායක මණ්ඩලය හෙට දවසේ දැය මෙහෙයවන සැබෑ නායකයින් වනු නොඅනුමානය. සේවය සහ කැපවීම පෙරදැරි කරගත් ඔවුන්ගේ මෙම නව ගමන්මඟට ආශිර්වාද එක්කරමින්, විද්‍යාලයීය සම්ප්‍රදායන්ට අනුකූලව මෙම නිල ලාංඡන පැළඳවීම සිදු කරන ලදී. පාසලේ අභිමානය ලොවටම හඬගා කියන නායකත්වයේ මෙම සොඳුරු හෝරාව, අප විද්‍යාලීය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ. නව නිලතලවලින් පිදුම් ලැබූ සියලුම ශිෂ්‍ය නායක නායිකාවන්ට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර, පාසල් විනය සුරකිමින් සහෝදර සිසු පිරිසට මඟ පෙන්වීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔවුන්ට නොඅඩුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. දේශයට හිතැති, ගුණගරුක නායකත්වයක් බිහිකිරීමේ අපගේ මෙම ප්‍රයත්නයට නන් අයුරින් සහය දැක්වූ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු.
මෙම උත්සවයට ආරාධිත අමුත්තන් ලෙස ගල්දෙණිය කනිෂ්ට විද්‍යාලය, වෙන්නොරුව මහා විද්‍යාලය, මැදගම්පල ජනාධිපති විද්‍යාලය, බුරුසේගොඩ කනිෂ්ට විද්‍යාලය සහ ආඩියාදෙණිය ප්‍රාථමික විද්‍යාලය යන පාසල්වල විදුහල්පති මහත්ම/මහත්මීන් සහභාගි විය.
2025 ඔක්තෝම්බර් මස 06 වෙනි දිනට යෙදී තිබූ ලෝක ගුරු දිනය නිමිති කරගෙන 2025.10.07 වන දින ව/ගිරි/ගල්ගමුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ මූලිකත්වයෙන් සිප් සතර කියා දුන් ඇඳුරු මඩුල්ල සඳහා ගුරු උපහාර පිදීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබුනි. එහිදී නැටුම්, ගැයුම් සහ ඇඳුරු මඩුල්ල සඳහා සමරු තිළින ප්‍රධානය කිරීම සිදුවිය.
“ආදරයෙන් සුරකින්න - අපිට ලොව දිනන්නට“ තේමාව යටතේ 2025 වර්ෂයේ ලෝක ළමා දිනය ඔක්තෝම්බර් 01 වන දින ව/ගිරි/ගල්ගමුව මහා විද්‍යාලයේදී ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි.
එහිදී ළමුන් සඳහා විනෝදවීමට අවස්ථා රැසක් පැවති අතර අයිස්ක්‍රීම් ලබා දීම සිදුවිය.
“පන්හිඳක සුවඳ“ - 2025 සිංහල සාහිත්‍යය කලා මංගල්‍යය වර්ෂ 2025 ක් වූ බිනර මස 26 වන සිකුරාදා දින ව/ගිරි/ගල්ගමුව මහා විද්‍යාලයේදී අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. මෙහිදී 6 ශෙු්ණියේ සිට 13 ශෙු්ණිය දක්වා සිංහල පෙළපොතට අදාළ ජනකතා, නාට්‍ය, ජාතක කතා සිතුවම්කරණයෙන්ද, අක්ෂර මාලාව, පද වර්ග, වී ගොවිතැන හා බැඳුනු ජනවහර, ධීවර භාෂාව, අඟුල් මල් දමනය, ධර්ම යුද්ධය, නිර්මාණ හා නිසදැස් එකතුව, ගත්කතුවරුන් හා ඔවුන්ගේ ග්‍රන්ථ නාමාවලින් ආදී බොහොමයක් නිර්මාණ වලින් යුත් ප්‍රදර්ශනයක්ද, රංගනය, නර්තනය හා කවිය,ගීතය,නාට්‍ය නාද රටාවෙන් සංගීතවත් වූ ප්‍රාසාංගික ඉදි්රිපත් කිරීම්වලින් යුක්ත විවිධ ප්‍රසංගයක්ද පවත්වන ලදී.
වෙන්නොරුව විජයබා විද්‍යාලයේ විදුහල්පතිනිය වන සේනානි අත්තනායක මැතිණිය, බුරුසගොඩ කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති ප්‍රදීප් පුෂ්පකුමාර මැතිතුමා, කන්දෙගෙර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති කාංචනා දසනායක මැතිනිය යන ප්‍රධාන ආරාධිත අමුත්තන්ගෙන් හා අප විද්‍යාලයේ නියමුවානන් වන අරුණ ශාන්ත ජයතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය හා සමාරම්භක උත්සව කටයුතු අරඹන ලදී. විද්‍යාලයේ සිංහල අංශය මූලිකත්වයෙන් සිදුවූ මෙම සිංහල සාහිත්‍යය කලා මංගල්‍යය සඳහා චිත්‍ර, නැටුම්, සංගීත රංගකලා අංශයේ ගුරුභතුන්ගේ දායකත්වය බෙහෙවින්ම අගය කරන අතර, විද්‍යාලීය සංධ්වනි මාධ්‍යය ඒකකයත්, කැමරාකරණයෙන් තොරතුරු තාක්ෂණ අංශයද දායකත්වය සපයන ලදී.







